විවාහය සහ පොරොන්දම් ගැලපීම

May 15, 2021

විවාහය සහ පොරොන්දම් ගැලපීම

විවාහය යනු ස්‌ථාන දෙකක වෙන් වෙන්ව ජීවත් වූ අසමාන ගතිගුණ මෙන්ම අදහස්‌ ඇති ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය කායික හා මානසික වශයෙන් එක්‌තැන් වීමයි. ජීවන ගමනේ දෙවැනි උපත ලෙස විවාහය සැලකෙයි. ජාති භේද, ආගම් භේද, කුල භේද, ධනය, බලය, පරයා විවාහ වන උදවිය එමටය. එසේම ආලය මුල් කරගෙනද ආවාහ විවාහ සිදුවේ. විවාහය බොහෝ විට සිදු කෙරුණේ දෙපාර්ශ්වයේ කැමැත්ත මත යෝජිත විවාහයන් ලෙසිනි. එහිදී මනමාල පාර්ශ්වයෙන් මනමාලිය බැලීමට ගොස්‌ දෙමාපියන්ගේ වැඩිහිටියන්ගේ අදහස්‌වලට ගරු කරමින් සියලු චාරිත්‍ර සිදු කර විවාහ කටයුතු කිරීමට තීරණය කෙරිණි. විවාහයන් පසු තවත් නැවුම්ප වූ පරම්පරාවක්‌ සමාජයට දායාද වෙයි. ජ්‍යොතිෂ මූලධර්ම මගින් දෙදෙනාගේ ගැළපීම් පරීක්‍ෂා කිරීම විවාහ සීහුම් පරික්ෂාව නම් වන අතර ශ්‍රී ලංකාව තුල එහි ප්‍රධානතම භාවිතය විසි පොරොන්දම් පරික්ෂාව වේ. පංචකාම සැප විඳීම විවාහ දිවියේ එක්‌ අරුතක්‌ සේම ඉන් යහපත් දූ දරුවන් පිරිසක්‌ ලොවට බිහිකිරීම ද සිදු වන්නේය. නිසි වයසට පත්වන යෞවන යෞවනියන්, කායික, මානසික තෘප්තියක්‌ ලබා ගුණගරුක සමාජයක්‌ ගොඩනැංවීම විවාහයේ පරමාර්ථය වන්නේය.

තරුණ වියට පත් දූ පුතුන්ට සුදුසු විවාහයක්‌ කරදීමේදී අතීතයේ සිට විවාහ පොරොන්දම් ගැළපීම කෙරෙහි විශ්වාසයෙන් කටයුතු කරති. විසි පොරොන්දමට අයත් වන්නේ නැකැත්, ගණ, මහේන්ද්‍ර, ස්‌ත්‍රී දිර්ඝ, යෝනි, රාශි, ලග්න, චන්ද්‍ර රාශි, අධිපති, රඡ්ජු, වශ්‍ය, වේධ, වෘක්‌ෂ, ආයුෂ, පඤ්ච පක්‌ෂි, භූත, ගෝත්‍ර, වර්ණ, ලිංග, දින, නාඩි සහ ග්‍රහ යන පොරොන්දම්වලටය. තවද කුජ භෞම දෝෂ කෙරෙහිද විශේෂ අවධානයක යොමු විය යුතුය. දෝෂ භංගවීම් දෙදෙනාගේ ජන්ම කේන්ද්‍රවල යෙදී තිබේ දැයි නිශ්චය කිරීමද ඉතා වැදගත්ය.

නැකැත් පොරොන්දම ගැළපේ නම් සැප සම්පත් සේම ධනය, බලය, කීර්තිය, පවුලේ සමගිය, වාසනාවන්ත දරු ඵල, හිමිවන්නේය. ගණ පොරොන්දම ගැන සලකා බැලීමේදී දෙදෙනාම එකම ගණයකට අයත් වීම ඉතා ශුභ දායකයි. ප්‍රීතිය, සතුට, සාමය ධනය උදා කරයි. ස්‌ත්‍රිය හෝ පුරුෂයා මනුෂ්‍ය රාක්‍ෂ ගණ වී නම් ඉතා අශුභ වන අතර, මරණය, ධන විනාශය ආදී ගැහැට සිදුවේ. යෝනි පොරොන්දම ගැළපේ නම් කායික වශයෙන් සතුට සැප ලැබීම සේම ලිංගික සම්බන්ධතාද ඇති කරයි. වෘක්‍ෂ පොරොන්දමෙන් අපේක්‍ෂා කරන්නේ දරුවන් ගැනයි. දෙදෙනාගේ කායික ශක්‌තිය සේම ධාතු ශක්‌තියද වෘක්‍ෂ පොරොන්දමට වැදගත් වෙයි. දෙදෙනාම කිරි වෘක්‌ෂ වීම දරු සම්පත් ලැබීමත්, හර වෘක්‍ෂ වීම දරුවන් නොලැබීමත් සිදුවෙයි. ලිංගික පොරොන්දම් පරීක්‍ෂාවේදී ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාගෙන් ස්‌ත්‍රිය ස්‌ත්‍රී ලිංග වීමත් පුරුෂයා පුරුෂ ලිංගවීමත් ගැළපෙයි. නාඩි පොරොන්දමෙන් බැලෙන්නේ රුධිරගත ගැළපීමයි. නහර ශක්‌තියද මීට තරමක් අදාළ වෙයි. දෙදෙනාම එකම නාඩි වීම ශුභ නැත. ලෙඩ රෝගවලට දරුවන් පවා භාජනය විය හැකිය.

නැකැත් පොරොන්දම නොගැළපුණත් දෙදෙනාම එකම නැකත ඉපදී සිටියත් රාශි අධිපති, දින, ග්‍රහ, පොරොන්දම්වලට අයත් පොරොන්දම්ද විනිශ්චයේදී සැලකිල්ලට භාජනය වෙයි. රාශි පොරොන්දම සහ රාශි අධිපති පොරොන්දම ශුභ වී නම්, යෝනි පොරොන්දම නොගැළපුණත් එහි ඇති වන අශුභ තත්ත්වය මගහැරේ. එසේම රාශි සහ රඡ්ජු පොරොන්දම් දෙක ගැළපෙන්නේ නම් නාඩි පොරොන්දම අශුභ වී තිබුණද එම දෝශය හීන වේ.

යුග දිවියට පත්වීමට අපේක්‍ෂා කරන දෙදෙනාගේ කේන්ද්‍ර සටහන්වල ග්‍රහයින් පිහිටා ඇති අයුරුද විමර්ශනය කළ යුතු වන්නේය. ග්‍රහයින් සංයෝගවීම, ත්‍රිකෝණ බලයෙන් සහ දෘෂ්ටි බලයෙන් සිටීම ගැනද කරුණු පිරික්‌සීම වැදගත් වෙයි. විවාහ පොරොන්දම් පරීක්‍ෂණයේදී ගුරුගේ දෘෂ්ටිය පමණක්‌ සැලකිල්ලට ගැනීම උචිත නොවේ. විවාහ දිවිය නිසරු කරන යෝග අතරට සඳු හෝ රවි හෝ ශනිගෙන්, කුජගෙන් පීඩා වන්නේ නම් අදාළ විවාහ දිවිය නිසරු විය හැකි බැවින් පොරොන්දම් පරීක්‍ෂාවට අමතරව සොයා බැලිය යුතු අතර ග්‍රහ පොරොන්දම, ග්‍රහ රාශි අධිපතිත්වය ගැනද බැලීම වැදගත්ය.

ජීවිතයේ දෙවැනි උපත ලෙස සැලකෙන විවාහයේදී ඇති වන ශුභ අශුභ තත්ත්වයත් ගැන කල් තියාම සොයා බැලීම සාර්ථක විවාහයකට මනා පිටිවහලක්‌ වෙයි. කෙසේ නමුත් පොරොන්දම් ගැන සැලකිලිමත් නොවී යහපත් විවාහ ජීවිත ගත කරන අයද ඇත්තේ ඒ ඒ අයගේ පොරොන්දම් පරික්ෂාව සිදු නොකලද නොදැනුවත්වම ඔවුන්ගේ පොරොන්දම් ගැලපීම ඉතා ඉහල මට්ටමකින් පැවතී තිබීමය.

ශ්‍රී ලාංකිකයන් වැඩි දෙනෙක් විවාහයකදී හෝ ආදර සම්බන්ධතාවයකදී ජ්‍යොතිෂයට අනුව තම හඳහන කොපමන ප්‍රතිශතයකට අනෙකා හා ගැලපී ඇත්දැයි කල්තියා දැන ගැනීමට මුල් තැනක් ලබා දෙන්නේ වර්තමාන සමාජයේ නිතර දකින්නට අසන්නට ලැබෙන තොරතුරු හේතුවෙනි. එම කර්තව්‍ය සදහා දැනට ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රචලිතම ක්‍රමවේදය වන පොරොන්දම් පරික්ෂාව ජ්‍යොතිෂයේ අති දුෂ්කරම කාර්යයක් වන අතර එයින් විසි පොරොන්දම් පරික්ෂාව යනු විවාහ සීහුම් පරීක්ෂාවේ එක් සාධකයක් පමණි. ස්ත්‍රී හා පුරුෂ දෙදෙනාගේ පොරොන්දම් ගැලපීමේ ප්‍රතිශතය සතුටුදායක වන තරමට දෙදෙනාගේ ආදරය සහ ජීවිතයේ සාර්ථකත්වය ඉහල යන අතර සිය විවාහ දිවියද අසාර්ථක නොවී ජීවිතාන්තය දක්වාම දෙදෙනාට විශ්වාසයෙන් ගත කල හැකි බව ඉපැරණි ජ්‍යොතිෂය සෘෂි මතය වේ. මෙහිදී ජ්‍යොතිෂ්ශාස්ත්‍රයට අනුව විසි පොරොන්දම් පරීක්ෂාවෙන් 75% ක පමණ ප්‍රතිශතයකින් විවාහ යෝජිත දෙදෙනාගේ ගැලපුම ආවරණය වන අතර මංගල ජීවිතයට බලපෑමක් ඇති කල හැකි අමතර ප්‍රශ්න සහ ගැටලු සම්බන්යෙන් වඩාත් හොඳින් තීරණය කිරීමට අදාල කේන්දර වල ග්‍රහ පිහිටීම් සහ යෝග පිළිබදව තව දුරටත් ගැඹුරින් අධ්‍යනය කිරීමෙනි. ඒ ආකාරයෙන් එකී ගුණ අගුණ පිළිබඳව තව දුරටත් වඩා පුළුල්ව තහවුරු කිරීමට ජ්‍යොතිෂයේ සඳහන් විවිධ වූ පරීක්ෂාවන් සිදුකර අදාල කසාදය සිදු කිරීම හෝ නොකිරීම සම්බන්ධව නිගමනයකට පැමිණීම අතීතයේදී වඩාත් ප්‍රමුඛත්වයක් ලබා දුන්නද, ජ්‍යොතිෂ්ශාත්‍රඥයා ඒවෙනුවෙන් වැය කරන කාලය හා ශ්‍රමයට සරිලන මුදලක් වැය කර එම ජන්ම පත්‍ර ගැලපීම පරික්ෂාව සිදු කර ගැනීමට තරම් වර්තමාන සමාජයට මූල්‍යමය හැකියාවක් නොමැති කම අද කාලයේ ජ්‍යොතිවේදියා මුහුණ දෙන ප්‍රධාන ගැටළුවකි.

එවැනි තත්ත්ව හමුවේ අප විසින් ඉහත සදහන් කල විසි පොරොන්දම් පරීක්ෂාවට අමතරව ජ්‍යොතිෂ්‍ය හා සබැදි සුවහසක් ජනතාවට ඔවුන් ගෙවන මුදලට වඩා වටිනා සේවාවක් ලබා දීමේ අරමුණින් පොරොන්දම් බැලීම සදහා විසි පොරොන්දම් පරීක්ෂාවට අමතරව හතේ නැකත හෙවත් කුජ භෞම දෝශ විශ්ලේෂණය මෙන්ම විවාහයේදී තවත් වැදගත් සාධක වන්නා වූ ග්‍රහ සංයෝග කීපයක් වන ශනි මංගල, රවි ශුක්‍ර, අගහරු සිකුරු, චන්ද්‍ර අඟහරු වැනි දෝෂ කිහිපයක්ද ගැඹුරු අධ්‍යනයක් සිදු කරන අතර එම විවාහය කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා සමස්ථයක් වශයෙන් ඔබට අවශ්‍ය ප්‍රමුඛතා තොරතුරු අපගේ “සම්පූර්ණ” සේවාවෙන් පමණක් ඉදිරිපත් කර ඇත. කෙසේ නමුත් විසි පොරොන්දම් පරීක්ෂාවක සුබ අසුබ මත පමණක් යම් යෝජිත යුවලක් කසාද නොබැදීමට හෝ වෙන් වීමට ගන්නා වූ ක්ෂනික තීරණෙද වැදගත් නොවන්නේ ශුභ ඉහල නංවා ගැනීම සඳහා වූ විවිධ පිලියම් මෙන්ම අශුභ යෝග මග හැරීමට ජ්‍යොතිෂයේ නිර්දේශිත යම් යම් වතාවත් සහ වත් පිළිවෙත් ද සොයාගත හැකි බැවිනි. තවද ජන්ම පත්‍ර ගැලපීම පරික්ෂා කිරීමේදී පොරොන්දම් පරීක්ෂාවට අමතරව ශ්‍රී ලංකාව තුල එතරම් ප්‍රචලිත නොවන තාජික, නාඩි, අෂ්ටක වර්ගය සහ ජෛමිණි ආදී වූ ජ්‍යොතිෂය ක්‍රවේද වලට අනුවද මනාලයා සහ මනාලියගේ සම්බන්ධය පරීක්ෂා කිරීම තුලින් තව තවත් වෙනස් වූ තොරතුරු සහිත සීහුම් වාර්තාද ලබා ගැනීමේ හැකියාවක් ඇත.

Topics